තමිල්නාඩුවේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින් නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් ‘තමිලග වෙට්ට්‍රි කළගම්’ (TVK) පක්ෂයේ නායක විජේ, සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා මාස දෙකකට වරක් නොමිලේ විදුලි ඒකක 200ක් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම සහනය හිමිවන්නේ මාස දෙකක් ඇතුළත සමස්ත විදුලි පරිභෝජනය ඒකක 500ක් හෝ ඊට අඩු මට්ටමක පවතින පවුල් සඳහා පමණයි.
එමෙන්ම, ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටද නියෝග කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ බලකායක් සහ හදිසි උපකාරක සේවාවක් ස්ථාපිත කිරීමටද මෙහිදී අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.
තම ප්‍රථම මහජන ඇමතීමේදී හැඟුම්බර වූ නව මහ ඇමතිවරයා, තමා සිනමා සහායක අධ්‍යක්ෂවරයෙකුගේ පුතෙකු ලෙස කුසගින්න සහ දුප්පත්කම අත්විඳ ඇති අයෙකු බව සිහිපත් කළා.
සැබෑ ලෞකික සමාජ සාධාරණත්වයක් සහිත නව යුගයක් අදින් ඇරඹෙන බවත්, ජනතා මුදල් අවභාවිත කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කරනු ලැබුවා.
විජේගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක් කරමින් පවසා සිටියේ තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් මධ්‍යම රජය සහය දෙන බවයි.

