පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග
වෙනත් පුද්ගලයන්ගේ නම්, ඡායාරූප සහ ඇඟිලි සලකුණු යොදාගනිමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර පාතාල සාමාජිකයන්ට විදේශගත වීමට ආධාර අනුබල දුන් ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් (06) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
“ඇඟිලි සලකුණු ලබා දුන් පුද්ගලයා නොවෙයි රට ගොස් තිබෙන්නේ. මෙය ඉතා දරුණු තත්ත්වයක්. තමන් වෙත පැමිණෙන පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම ආගමන විගමන නිලධාරීන්ගේ වගකීමක්,” යැයි මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළා.
තිළිණ සම්පත් ගමගේ නමැති පුද්ගලයෙකු, පී. මධුෂාන් පෙරේරා නමැති අයෙකුගේ ඇඟිලි සලකුණු ලබා දී ව්‍යාජ ලෙස විදේශගත වී ඇති බවත්, මධුෂාන් පෙරේරා නමැත්තා ද මේ වන විට විදේශගතව සිටින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
මෙම වංචාව එක්තරා චක්‍රයක් ලෙස සිදුව ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.
වෙනත් පුද්ගලයන්ගේ අනන්‍යතාව භාවිත කරමින් ව්‍යාජ බලපත්‍ර හරහා විදේශගත වී ඇති බවට සැක කෙරෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයන් 26 දෙනෙකු පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි මෙහිදී හෙළි වුණා.
2023 අප්‍රේල් 31 වන දින එක් සැකකරුවෙකු විදේශගත වී ඇති බවත්, මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 05 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.
ව්‍යාජ ලෙස ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමට ඉඩ දුන් සහ ඒවා අනුමත කළ ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.
මීට අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

