Site icon Live Srilanka

රත්තරන් මිලදී ගැනීම් නවත්වන්නැයි මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලයි

ඉරානය කේන්ද්‍ර කරගනිමින් හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ඉහළ යාම හමුවේ, ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර සහ රත්තරන් මිලදී ගැනීම්වලින් වළකින ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

හයිද්‍රාබාද්හි පැවැති ප්‍රසිද්ධ උත්සවයකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ පවතින ආර්ථික අභියෝග හමුවේ ජීවන රටාවේ වෙනස්කම් සිදුකිරීම යුතුකමක් බවයි.

ඉන්ධන පිරිමසා ගැනීම සඳහා කොවිඩ්-19 සමයේ මෙන් නැවතත් ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work-from-home) ආකෘතියට හුරුවන ලෙසට ඔහු දැනුම් දී තිබෙනවා.

එසේම පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන ක්‍රම භාවිත කරන ලෙසත්, ආහාර පිසින තෙල් භාවිතය අවම කරන ලෙසත්, ඔහු ඉල්ලා ඇති බව සඳහන්.

තවද, විදේශ විනිමය වැයවීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් වසරක කාලයකට රත්තරන් මිලදී ගැනීමෙන් සහ අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාරවලින් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රසායනික පොහොර භාවිතය අඩකින් පමණ අඩු කරන ලෙසයි ඔහු ගොවීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරානය ආශ්‍රිත යුදමය තත්ත්වය ආරම්භ වීමෙන් පසු බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 සිට 105 දක්වා 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාව ලොව තෙවන විශාලතම තෙල් ආනයනකරු වන අතර, රත්තරන් ආනයනය සඳහාද වාර්ෂිකව ඩොලර් බිලියන 72ක් පමණ වැය කරනවා.

පෙබරවාරි මාසයේ ඩොලර් බිලියන 728.5ක්ව පැවති ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය මැයි මස මුල වන විට ඩොලර් බිලියන 690.69 දක්වා වේගයෙන් පහත වැටී තිබීම මෙම දැඩි තීරණවලට හේතු වී ඇති බව සඳහන්.

Exit mobile version