තායිවානයට ස්වාධීනත්වය ප්‍රකාශ නොකරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

චීනයෙන් ස්වාධීන වීම ප්‍රකාශ කිරීමට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට අනතුරු අඟවා තිබෙනවා.

බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවැති දෙදින සමුළුව අවසානයේ Fox News වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, “මම කවුරුත් ස්වාධීන වෙනවා දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ” යනුවෙන්.

තායිවාන ජනාධිපති ලායි චින්-ටේ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තායිවානය දැනටමත් තමන් ස්වෛරී රාජ්‍යයක් ලෙස සලකන බැවින්, නිල වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවයි.

අමෙරිකා එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ තායිවානයට සහය දක්වා ඇති අතර, ආරක්ෂක මෙවලම් සැපයීමට නීත්‍යානුකූලව බැඳී සිටිනවා.

එහෙත් චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම වෙනුවෙන් මෙම සන්ධානය සමබරව පවත්වා ගැනීමට අමෙරිකාවට නිරන්තරයෙන් සිදුව තිබෙනවා.

ස්වයං පාලනයක් සහිත මෙම දූපත පිළිබඳව තමන් “කිසිදු පාර්ශවයකට පොරොන්දුවක් දී නොමැති” බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණා.

චීනය මෙම දූපත තමන්ගේම භූමියක් ලෙස හිමිකම් කියන අතර, එය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමද බැහැර කර නොමැත.

වොෂින්ටනයේ ස්ථාවරය වන්නේ ඔවුන් තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදක්වන බවයි.

බීජිං සමග පවතින සබඳතා ඉදිරියට පවතින්නේ එහි ඇත්තේ එකම චීන රජයක් පමණක් බව පිළිගැනීම මත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බීජිං පාලනය තායිවාන ජනාධිපතිවරයා කෙරෙහි සිය අකමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, ඔහුව හඳුන්වා දී ඇත්තේ “කලහකාරයෙකු” සහ “දෙපාර්ශවය අතර සාමයේ විනාශ කරන්නෙකු” ලෙසයි.

බොහෝ තායිවාන වැසියන් තමන් වෙනම රටක කොටසක් ලෙස සලකන නමුත්, බහුතරයක් කැමැත්තක් දක්වන්නේ පවතින තත්ත්වය එලෙසම පවත්වා ගැනීමටයි.

එනම් තායිවානය චීනයෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම හෝ චීනය සමග එක්වීම හෝ සිදු නොකිරීම බවට සඳහන්.

Fox News සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ට්‍රම්ප් යළිත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අමෙරිකානු ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බවයි.

“ඔබ දන්නවා, අපි යුද්ධයක් කරන්න සැතපුම් 9,500ක් (කිලෝමීටර් 15,289ක්) ගමන් කළ යුතුයි. මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට අවශ්‍ය ඔවුන් සන්සුන් වෙනවා දකින්නයි. මට අවශ්‍ය චීනය සන්සුන් වෙනවා දකින්නයි.” යනුවෙන් ට්‍රම්ප් ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.

යළි වොෂින්ටන් බලා පැමිණෙන ගුවන් ගමනේදී ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ තමා සහ ෂී මෙම දූපත ගැන බොහෝ දේ කතා කළ නමුත්, අමෙරිකාව එය ආරක්ෂා කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම තමා ප්‍රතික්ෂේප කළ බවයි.

ෂී ජින්පින් මෙම දූපත පිළිබඳව “ඉතා තදින් හැඟීම්බරව” පසුවන අතර “ස්වාධීනත්වය සඳහා වන කිසිදු ව්‍යාපාරයක් දැකීමට ඔහු අකමැති” බව ට්‍රම්ප් පවසා තිබෙනවා.

“තායිවාන ප්‍රශ්නය චීන-අමෙරිකානු සබඳතාවල ඇති වැදගත්ම ප්‍රශ්නයයි,” යනුවෙන් සාකච්ඡා අතරතුරදී ෂී අනතුරු ඇඟවූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති බව සඳහන්.

“එය වැරදි ලෙස හැසිරවුවහොත්, දෙරට අතර ගැටුමක් හෝ යුද්ධයක් පවා ඇති විය හැකියි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

තායිවානය සම්බන්ධයෙන් චීනය සමග ගැටුමක් ඇතිවිය හැකිදැයි ඇසූ විට ට්‍රම්ප් පැවසුවේ, “නැහැ, මම එහෙම හිතන්නේ නැහැ. මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ෂී යුද්ධයක් කරන්න කැමති නැහැ,” යනුවෙන්.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img