ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසනවා.
ඒ මහතා පැවසුවේ පෙට්‍රල් මිලෙහි රුපියල් 12ක මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් මෙම ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවයි.
ත්‍රීරෝද රථ ගාස්තු සැකසීම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන බැවින් ඉන්ධන මිලෙහි ඉහළ යාම සලකා දැනට දෙවැනි කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළා.
මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ක මුදලක් සහ දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 90ක් ලෙස ගාස්තු අයවෙන බැවින් දෙවැනි කිලෝමීටරය සඳහාද ගාස්තුව රුපියල් 100ක් ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත් ඒ වෙනුනේ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසුවා.
එමෙන්ම ත්‍රීරෝද රථ හිමියන් සිය කර්මාන්තය සිදුකරගෙන යාමේදී ඉන්ධන සීමාවන් හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වන බැවින් ඉන්ධන කොටාව ඉහළ නංවන ලෙසද ඒ මහතා මෙහිදී ඉල්ලීමක් කළා.
“අපි දෛනිකව උපයන දෙයින් තමයි ලීසිං, ෆිනෑන්ස් ආයතනවලට ගෙවන්නේ, එතකොට මේ ඔක්කොම හිරවුණායින් පස්සේ මේ කර්මාන්තයේ නියුතු අය කොහේටද යන්නේ, ඇයි මේ රජයට මේ පිළිබඳව හිතන්න බැරි ? අපි වෙන දෙයක් ඉල්ලන්නේ නෑ මේ විදිහට හරි අඩුම තරමේ සතියකට ඉන්ධන ලීටර් 30ක් අපිට දෙන්න කියන සාධාරණ ඉල්ලීම අපි කරන්නේ. ආණ්ඩුවට කරන්න බැරි දේවල් පවා සමහර ත්‍රීරෝද රථ සංගම්කාරයෝ ටිකක් ඇවිල්ලා කියනවා. දවසට කිලෝමීටර් 200-300 දුවනවයි කියලා හෙන පච කෙලලා ලීටර් 20ක් දවසට ඉල්ලනවා. අපිට එහෙම බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ”




