විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු මුහුණ දී සිටි ණය මුදලක් පියවීමට උදව් කරන බව පවසා රුපියල් එක්ලක්ෂ විසිනවදහස් හයසියයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පණ්ඩුලගම යුද හමුදා කඳවුරේ සේවය කළ පුද්ගලයෙක්.
පැමිණිලිකාර විශ්‍රාමික නිලධාරියා ලබාගෙන තිබූ විශ්‍රාම ණය මුදල පියවීමට සහාය විය හැකි බව සැකකරු පවසා තිබෙනවා.
රුපියල් ලක්ෂ විසිපහක ආධාර මුදලක් ලබා දෙන බව පවසා ඒ සඳහා පූර්ව ගාස්තු වශයෙන් අවස්ථා තුනකදී රුපියල් 129,600/ ක මුදලක් මහජන බැංකු ගිණුමකට බැර කරවාගෙන ඇති බව සඳහන්.
අනතුරුව, නැවතත් ලේඛන ගාස්තු ලෙස රුපියල් 13,457 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව පසුගිය 30 වැනිදා පෙරවරු 10.30ට පමණ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.




