ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉන්ධන මිල සූත්‍රය සමාලෝචනයක් ඉල්ලා සිටී

මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසර සඳහා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 36.4ක ලාභයක් වාර්තා කර ඇති අතර, එම ලාභයට 2025 වසර තුළ බෙදුම්කරුවන්ගෙන් කපා ගත් වට්ටම් මුදල්ද ඇතුළත් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

1961දී සංස්ථාව ආරම්භ වූ දා සිට පාරිභෝගිකයන්ට ඉන්ධන අලෙවි කරන ප්‍රධාන කොටස්කරුවන් වන බෙදුම්කරුවන්ට හිමි විය යුතු ලාභාංශ කොටසක් පැවති අතර, 2025 මාර්තු 01 සිට එම කොටස සංස්ථාව විසින් ඒකපාර්ශ්විකව අඩු කර අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බව සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් බෙදුම්කරුවන්ට ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති අතර, සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන සමුපාකාර පිරවුම්හල් 200කට ආසන්න සංඛ්‍යාවක් සහ ග්‍රාමීය ප්‍රදේශවල පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමකට ලක්ව ඇති බවද සංගමය පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයටද කරුණු යොමු කර ඇති බව සඳහන් වේ.

විදේශීය තෙල් සමාගම් මෙරට වෙළෙඳපොළට ආකර්ෂණය කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවර කිරීමේ අරමුණින් 2022 නොවැම්බර් 29 දිනැති කැබිනට් පත්‍රිකාව මගින් නව මිල සූත්‍රයක් අනුමත කර ඇත. එම සූත්‍රය අනුව තෙල් සමාගම්වලට 4% (V6) ලාභාංශයක් සහ 2% (V5) මෙහෙයුම් ලාභාංශයක් ලබා දී ඇති අතර, බෙදුම්කරුවන්ට 2.96% (V2h)ක් (ආසන්න වශයෙන් 3%) ලබා දීමට නියමිත විය.

ඊට අමතරව, 2023 අගෝස්තු 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මගින් බෙදුම්කරුවන්ට 3%ක මෙහෙයුම් ලාභාංශය ස්ථිර කර තිබේ.

එහෙත්, සංස්ථාවේ නව කළමනාකරණය විසින් 2025 මාර්තු 01 සිට එම ලාභාංශ ප්‍රතිශතය 3% සිට 1.5% දක්වා අඩු කර ඇති බව සංගමය චෝදනා කරයි.

2024 වසරේ විගණන වාර්තා අනුව සංස්ථාවේ ලාභය රුපියල් බිලියන 34.2ක් වූ අතර, 2025 වසරේ එය රුපියල් බිලියන 36.4ක් ලෙස ඉහළ යාම බෙදුම්කරුවන්ගෙන් කපා ගත් මුදල්ද ඇතුළත් කර ගණනය කර ඇතිද යන්න සම්බන්ධයෙන් සංගමය සංස්ථා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි.

Latest articles

spot_imgspot_img

Related articles

Leave a reply

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img