මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශ්වයකට ගෙවීමේ සිදුවීම වාර්තා වූ ආකාරය සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලින් අනතුරුව, ඔස්ට්‍රේලියානු එක්ස්පෝර්ට් ෆිනෑන්ස් ආයතනය සමඟ කොන්දේසි සහ ගෙවිය යුතු දින වකවානු ඇතුළත් ණය ගිවිසුමක් අත්සන් කර තිබූ බව ඔහු සඳහන් කළා.
ඒ අනුව, 2025 ඔක්තෝබර් 27 වැනිදා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ මියගිය රංග රාජපක්ෂ විසින් අදාළ තොරතුරු ඔස්ට්‍රේලියාවේ අදාළ අංශ වෙත යොමු කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඉන් පසුව ණය ගෙවන ලෙස දන්වමින් ඉන්වොයිසි (Invoices) කිහිපයක් ලැබී ඇති අතර, ඒවා පරීක්ෂා කිරීමෙන් පසු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (Public Debt Management Office) වෙත යොමු කර තිබෙනවා.
එම කාර්යාලයෙන් ද පරීක්ෂා කර ඒවා මහ බැංකුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, ලබා දී තිබූ ගිණුම් අංක හරහා නොවැම්බර් සහ ජනවාරි මාසවලදී වවුචර 10 ක් මඟින් මෙම ඩොලර් මිලියන 2.5 ක ගෙවීම සිදු කර ඇති බව ද ඔහු අනාවරණය කළා.
පසුව ඉන්දීය එක්සිම් (EXIM) බැංකුව සමඟ වෙනත් නිලධාරිනියක කටයුතු කිරීමේදී ද පෙර පරිදිම ඉන්වොයිසි කිහිපයක් ලැබී ඇති නමුත්, එහිදී අදාළ විද්‍යුත් ලිපිනයෙහි වෙනසක් ඇති බව ඇය නිරීක්ෂණය කර තිබෙනවා.
අනතුරුව ඉන්දීය එක්සිම් බැංකුව සෘජුව සම්බන්ධ කරගෙන පරීක්ෂා කිරීමේදී අදාළ විද්‍යුත් ලිපිනය ව්‍යාජ එකක් බවට හඳුනාගත් බැවින් එම ගෙවීම නතර කිරීමට පියවර ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙම සැකය මත අතීත ගනුදෙනු ද පරීක්ෂාවට ලක් කිරීමේදී ඔස්ට්‍රේලියාවට ගෙවූ මුදල් අදාළ ආයතනයට ලැබී නොමැති බව තහවුරු වී තිබෙනවා.
මෙම සිදුවීම අනාවරණය වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (CERT) දැනුම් දුන් බවත්, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකුගෙන් යුත් තාක්ෂණික කමිටුවක් පත් කර විමර්ශනයක් ආරම්භ කළ බවත් ඔහු සඳහන් කළා.
විමර්ශන කටයුතුවල පහසුව සඳහා අප්‍රේල් 10 වැනිදා නිලධාරීන් සිවුදෙනකු මාරු කළ අතර, පසුව ලැබුණු තොරතුරු මත අප්‍රේල් 17 වැනිදා ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.




