ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 25 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ අධිකරණයේ පෙනී සිටියා.
එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බව පැවසුවා.
සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නැති නිසා මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බවයි නීතිඥවරයා සඳහන් කලේ.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම නඩු විභාග ආරම්භ කිරීමට පෙර සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙනවාද ඒ පිළිබඳ ස්ථාවරය මීළඟ දින දැනුම් දෙන ලෙසත් දන්වා සිටියා.
ඉන් අනතුරුව මෙම නඩුකරය මේ මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.




